logo

inner slider

මොකද වුණේ......... ඛණිජතෙල් සංස්ථාවට?

රුපියල් බිලියන 32 කට මොකද වුනේ?

2017 දී ඛනිජතෙල් සංස්ථාව ජනතාවට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් ලබා දුන්නේ එහි වියදමට වඩා රු. 13.41 ක් අඩුවට ය. ඔක්ටේන් 95 ලබාදුන්නේ රු. 13.25 ක් අඩුවට ය. ඔටෝ ඩීසල් ලීටරයක් ලබා දුන්නේ රු. 4.25 ක් අඩුවට ය. සාමාන්‍ය ජනතාවට අවශ්‍ය භූමිතෙල් ලබා දුන්නේ එක ලීටරයකට රු. 27.53 ක් වැනි විශාල පාඩුවක් සංස්ථාව විසින් දරා ගනිමිනි. ඒ අනුව 2017 වසරේදී ඛනිජතෙල් සංස්ථාව මගින්, රජය, ජනතාවට රු. බිලියන 32 ක් ඉන්ධන සහන වශයෙන් ලබා දී ඇත.

රුපියල් බිලියන 147 කට මොකද වුනේ?

2017 මැයි මාසයේදී ගනන් බලා තිබූ අන්දමට තෙල් සංස්ථාව වසර අවසාන වන විට රු. බිලියන 14.425 ක් පාඩු ලබනු ඇතැයි පුරෝකථනය කර තිබුනා. එහෙත් නිවැරදි කළමනාකරණ තීන්දු හා නාස්තිය දූෂණය පිටුදැකීමෙන් එම තත්ත්වය වෙනස් කර පුරෝකථනය කළ පාඩුව වසර අවසානය වන විට රුපියල් බිලියන 5ක ලාභයක් බවට පරිවර්ථනය කිරීමට නව කළමනාකාරීත්වය සමත් වුනා. මෙම සාර්ථකත්වය ලබා ගෙන ඇත්තේ 2017 වසරේ අග භාගයේ දී ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහල ගිය තත්ත්වයක් යටතේ වීමද විශේෂත්වය කි. එසේම ජනතා සුබසෙත උදෙසා වැය කිරීමට 2017 වසරේදී සංස්ථාව විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට බදු වශයෙන් ගෙවා ඇති මුදල රු. බිලියන 147 ක්.

තෙල් ආනයන ඒකාධිකාරයට මොකද වුනේ?

රටේ ඉන්ධන ආනයනයේ ඒකාධිකාරී තත්ත්වයක් තිබුනා. තෙල් සැපයුම්කරුවන් කිහිපදෙනෙකුගෙන් පමණක් තෙල් ගෙන්වීම සිදුවුනා. මෙම ඒකාධිකාරයට අභියෝග කිරීමට නිර්භීත වුනු අය අඩුයි. ඒත් ටෙන්ඩර් නීති ප්‍රතිසංවිධානය කරමින් තරඟකාරී ටෙන්ඩර් පටිපාටියක් ස්ථාපිත කරන්නට 2017 වර්ෂයේ ජූනි මාසයෙන් පසුව ඛනිජතෙල් සංස්ථාවේ නව කළමනාකාරීත්වයට හැකි වුණා. දැන් ලොව පිළිගත් සමාගම් රැසක් ඛනිජතෙල් සැපයුම්කරුවන් වශයෙන් සංස්ථාවේ අලුතින් ලියාපදිංචි වී සිටිනවා. තරඟකාරී අඩු මිලට නියමිත ප්‍රමිති‍යෙන් යුතු ඉන්ධන ගෙන්වීමේ හැකියාව රටට ලැබී තිබෙනවා. මෙහි ප්‍රතිලාබ එබ සියලු දෙනාටම ඉදිරියේ දී දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇති.

සපුගස්කන්දට මොකද වුනේ?

1969 දී ආරම්භ කල සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව මෙරට ඉන්ධන කර්මාන්තයේ හදවත හා සමානයි. මාස 6ක් වැනි කාලයක් තුලදී එම පිරිපහදුව නවීකරණය කිරීම ආරම්භ කිරීමටත්, අත්‍යවශ්‍යව තිබූ නව බොයිලේරුව සවි කිරීමටත්, බෙදාහැරීමේ පර්යන්තය ස්වයංක්‍රීයකරණය අවසන් කිරීමටත් නව කළමනාකාරීත්වය ක්‍රියාත්මක වුනා. දැන් තෙල් සංස්ථාවේ හදවත් නැවතත් ජවසම්පන්නයි. මෙම නවීකරණ ක්‍රියාවලියේ තවත් අදියරක් ඉදිරියේදී දියත් වීමට නියමිතයි. නව පිරිපහදුවක් ඉදිකිරීමේ දිගුකාලින ඉලක්කයට ද ගමන් අරඹා තිබෙනවා. පිරිපහදු කල තෙල් වෙනුවට බොරතෙල් ගෙන්වා දේශීය වහයෙන් පිරිපහදු කිරීමෙන් වසරකට රුපියල් බිලියන 60 ක පමණ විශාල මුදල් ඉතිරියක් ද අපේක්ෂිතයි.

සංස්ථාවේ සුදුස්සන්ට මොකද වුනේ?

ආයතනයක් ඉස්සරහට යන්නේ එතැන වැඩ කරන මිනිස්සුන්ට සලකන විදිහට. බාහිර බලපෑම් වලට යට නොවී දක්ෂයාට තැන හිමිවන විධිමත් උසස්වීම් ක්‍රියාවලියක් සංස්ථාව තුල ස්ථාපිත කිරීමට නව කළමනාකාරීත්වය කටයුතු කලා. සංස්ථාවේ ඉදිරි ගමන ශක්තිමත් කිරීමට අවශ්‍ය  වන බඳවා ගැනීම් හා පුහුණුකිරීමේ පටිපාටියක් ද සැකසෙමින් පවතියි.  

කොළොන්නාවේ තෙල් ටැංකි වලට මොකද වුනේ?

කොළොන්නාව නිමාවේ ඉන්ධන ගබඩා ධාරිතාව 25% කින් ඉහල නංවන නව තෙල් ටැංකි පද්ධතියක් ඉදිකිරීම 2017 දෙසැම්බර් 22 ආරම්භ වුනා. මෙසේ අලුතින් ටැංකි පද්ධතියක් ඉදිවන්නේ වසර 20 කට පසුව යි. රටේ ඉන්ධන සුරක්ෂිතතාව තහවුරු වීමත් ජාත්‍යන්තර වෙළඳපොලේ මිල අඩුවන අවස්ථාවන්හි දී තෙල් මිලට ගෙන ගබඩා කිරීමේ හැකියාව ශක්තිමත් වීමත් මෙමඟින් සිදු වෙනවා.

වරායෙන් තෙල් ගෙනෙන නල වලට මොකද වුනේ?

කොළඹ වරායේ සිට කොළොන්නාව පර්යන්තය දක්වා ඉන්ධන ගෙනියන නල පද්ධතියේ වසර 76 කට වඩා පැරණි අඟල් 12 නළය සම්පූර්ණයෙන් අලුත්වැඩියා කිරීම පහුගිය සැප්තැම්බර් මාසයේ සිට වේගවත් වුනා. 2018 මාර්තු මාසයේ මෙහි වැඩ අවසන් වීමට නියමිතයි. මෙමඟින් කාන්දුවීම් නැතිකිරීමත් තෙල් ගොඩබෑම වෙගවත් වීමත් මඟින් රටට වසරකට රුපියල් මිලියන 600 ක පමණ මුදලක් ඉතිරි වෙනවා. අඟල් 18 හා 14 අලුත් නළ එලීම සඳහා ටෙන්ඩර් කටයුතු ද දැන් පවතින්නේ අවසන් අදියරේ.

ගුවන්යානා ඉන්ධන ප්‍රමිතියට මොකද වුනේ?

JIG ජාත්‍යාන්තර ප්‍රමිති නිර්දේශය අනුව ගුවන්යානා ඉන්ධන සඳහා අවශ්‍ය වන්නා වූ පෙරහන් පද්ධතියක් කොළොන්නාව නිමාව තුළ ස්ථාපිත කිරීම වසර 17 ක් පුරා අතපසු වී තිබුණා. නව කළමනාකාරීත්වයේ මගපෙන්වීම යටතේ අප ආයතනයන්හි ඉංජිනේරුවන්ගේ දැනුම හා ශ්‍රම දායකත්වයෙන් එය මාස 4ක් තුළ නිමකොට 2018 ජනවාරි 25 විවෘත කලා. එමඟින් රටට වසරකට රු. මිලියන 500 ක පමණ ඉතිරියක් අපේක්ෂිත යි.

මුතුරාජවෙලින් කටුනායකට තෙල් ගෙනියන ව්‍යාපෘතියට මොකද වුනේ?

මෙම තෙල් නල මුලින් එලීමට සැළසුම් කර තිබුනේ ජනාකීර්ණ ප්‍රදේශ හරහා. ඒ නිසා එය දිනෙන් දින ප්‍රමාද වුනා. එහෙත් නව කළමනාකාරීත්වයේ නිර්මාණශීලී යෝජනාවක් අනුව මෙම නල කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට සමාන්තරව එලීමට දැන් සැලසුම් කර තිබෙනවා. මෙම සැලසුම් සකස් කිරීමේ දී අප ආයතනයේ ඉංජිනේරුවන්ගෙන් ලැබුනු දායකත්වය ඉහලයි.  වැඩේ කඩිනම්. රටටත් රු.මිලියන 450 ක් පමණ ඉතිරියි. මෙම නව සංකල්පය මත ඉදිරියේ දී රටේ සෑම අධිවේගී මාර්ගයකට සමාන්තරව ඉන්ධන සේවා කොරිඩෝවක් වෙන් කිරීමට රජයේ එකඟත්වය ලැබී තිබෙනවා.

ගුවන් තොටුපල ඉන්ධන සැපයුම් පද්ධතියේ කොන්ත්‍රාත් එකට මොකද වුනේ?

කටුනායක ගුවන් තොටුපලට නව පර්යන්තයක් එක්කිරීමේ සැලසුම අනුව සහ ඉහල යන ගුවන්යානා ඉන්ධන ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැකසීමට නව කළමනාකාරීත්වය ක්‍රියාත්මක වුනා. 2013 සිට ගුවන්තොටුපල  ඉන්ධන සැපයුම් පද්ධතියේ කොන්ත්‍රාත්තුව විවිධ හේතූන් මත ප්‍රමාද වෙමින් තිබුනා. ඒත් 2017 දී නව කළමනාකාරීත්වය යහපාලන මූලධර්ම මත ජාත්‍යන්තර තරඟකාරී ටෙන්ඩර්  කැඳවීම් මඟින් දින 45 ක් වැනි කෙටි කාලයක් තුළ විදේශ ආයෝජන සමඟ සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරාගැනීමට පියවර ගත්තා. පෙර ටෙන්ඩරයට සාපේක්ෂව මෙම ටෙන්ඩරය මඟින් රටට ඉතිරි වූ මුදල රු. මිලියන 480 කට අධිකයි. මෙහි මූලික වැඩකටයුතු දැනටමත් අරඹා ඇත.

ඉන්ධන මාෆියාවට මොකද වුනේ?

පසුගිය කාලයේ ඉන්ධන මාෆියාවක් සැළසුම් සහගතව ක්‍රියාත්මක වෙමින් පැවතුනා.  එම තත්ත්වයන් සම්පූර්ණයෙන්ම මැඩපවත්වමින් 100%ක් ගුණාත්මක ප්‍රමිතියේ ඉන්ධන ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයාට ලබාදීම සහතික කිරීමට පහුගිය කාලය තුළ සෘජු තීරණ ගැනීමට සිදු වුනා. මතභේදයට තුඩුදුන් බාල ඉන්ධන නැව ආපසු හරවා යැවීමට ගත් සෘජු තීරණය සහ දේශීය වශයෙන් ගත් විට වැටලීම් වැඩි කිරීම එයට උදාහරණ වේ. එසේම ඉන්ධන ප්‍රමිතිය පරීක්ෂා කිරීම සදහා  අවශ්‍ය සියලු නවීන පහසුකම් සහිත ජාත්‍යාන්තර තත්ත්වයේ රසායනාගාරයක් ඉදිකිරීම උදෙසා ටෙන්ඩර් කැඳවීම ද සිදුකර අවසන්.

රටට හිතැති අවංක සෘජු නායකත්වයක් හා නිවැරදි කළමනාකරණයක්.

ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගරු අර්ජුන රණතුංග මැතිතුමාගේ එඩිතර හා අවංක නායකත්වයත් නියෝජ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය අනෝමා ගමගේ මැතිනියගේ සහ අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ මැතිතුමා ඇතුලු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයන්හි සහයෝගයත් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති දම්මික රණතුංග මැතිතුමා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයේ කළමනාකාරීත්ව මඟපෙන්වීමත් නිළධාරී මණ්ඩලය ඇතුලු සේවක පිරිසේ අධිෂ්ඨානශීලී කැපවීමත් සමඟින් මවුබිමට ජවසම්පන්න අනාගතයක් උදාකිරීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව අද කැපවී සිටියි.

Current Local Fuel Prices

 

 

 

 

 

 

Petrol 92 Octane : Rs. 137.00 Per Litre

Petrol 95 Octane : Rs. 148.00 Per Litre

Auto Diesel : Rs. 109.00 Per Litre

Lanka Super Diesel : Rs. 119.00 Per Litre

Kerosene : Rs. 70.00 Per Litre

Lanka Industrial Kerosene : Rs. 110.00 Per Litre

Furnace Oil 800Sec : Rs 80.00 Per Litre

Furnace Oil 1500Sec : Rs 80.00 Per Litre

Furnace Oil 3000Sec : Rs 80.00 Per Litre

Source : Ceylon Petroleum Corporation

FEATURES